ගෘහස්ථ හිංසනය නිසා නිවසට යා නොහැකි ලෙස්බියන් තරුණියකට උදව් කිරීමට WSG මැදිහත් වෙයි.

තමන්ගේ ලිංගිකත්වය දැන ගැනීම නිසා පවුලේ අයගෙන් මුහුණ පෑමට වූ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා නිවසට යා නොහැකි වූ A නම් ලෙස්බියන් තරුණියක් සහ B ඇගේ පෙම්වතිය ද සමග නවාතැන් සොයා ගැනීමේ අරමුණින් WSG ආයතනයට පැමිණ තිබෙනවා. 

 

ඔවුන් දෙදෙනා පළමුව හමු වී ඇත්තේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරන අතරතුර වෙන අතර, එවිට ඔවුන් දෙදෙනාගේම වයස අවුරුදු 21යි.  දෙදෙනාම තමන්ගේ සම්බන්ධතාවය සිය පවුලෙන් රහසක්ව තබා ගැනීමට උත්සාහ කළත් Aගේ පවුලේ සාමාජිකයන්ට මේ ගැන ආරංචි වී තිබෙනවා. පවුලේ සාමාජිකයන් ඇය තවත් කාන්තාවක් සමග ආදර සම්බන්ධයක් පවත්වන 

බව දැන ගැනීමෙන් පසු ඇයට නිවසෙන් පිට වීමටවත් ඉඩ නොදී ඇය නිවාස අඩස්සියේ තබා ගෙන, බරපතල ලෙස මානසික අපයෝජනයට ලක් කර තිබෙනවා.

 

 B තරුණියටද තම පවුලේ අයට මේ සම්බන්ධය ගැන කීමට හෝ A තරුණිය තමන්ගේ නිවසට රැගෙන යාමට හැකියාවක් තිබී නැහැ. කෙසේ හෝ Aට මුහුණ පෑමට වූ ප්‍රචණ්ඩත්වය දිගින් දිගටම අපහසු  වූ නිසා  B කෙසේ හෝ රැකියාවක් සොයා ගෙන A ද ඇයගේ නිවසෙන් මුදා ගෙන මේ දෙදෙනා එකට ජීවත් වීම අරඹා තිබෙනවා. කෙසේ වුවත්  Aට රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම සහ Bගේ රැකියාව හදිසියේ අහිමි වීම නිසා ඔවුන්ට තදබල ආර්ථික දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවී තිබෙනවා. 

වරින් වර යහළුවන්ගේ නිවෙස්වල නතර වෙමින්, රැකියා සොයමින් ඔවුන් කාලය ගත කරද්දී ඔවුන්ගේ මිතුරෙක් විසින් WSG ආයතනයට පැමිණෙන ලෙස ඔවුනට උපදෙස් දී තිබෙනවා. WSG විසින් නිවසට ආපසු යෑමට නොහැකි තත්වයක් ඇති  A ලෙස්බියන් තරුණියට නවාතැන් ද, අනතුරුව රැකියාවක් ද සොයා දී තිබෙනවා. එම මැදිහත් වීම ඇයට ආර්ථික වශයෙන් ස්වාධීන වීමට උදව් වී තිබෙනවා.  

මෑත දී පිටරට සිට ආපසු පැමිණි සිය මව සමග සිටීමට අවශ්‍ය නිසා, B තරුණිය ආපසු තම දෙමාපියන්ගේ නිවසට යෑමට තීරණය කළ නිසා, WSG ඇයට නවාතැන් සෙවීමට මැදිහත් වී නැහැ.

Scroll to Top