ජනතා සාක් උළෙල සහ නිදහසේ පාගමනේ LGBT දායකත්වය

 

2008 අගෝස්තු 2-3 දිනවල ශ්‍රී ලංකාවේ කොළඹදී දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (SAARC) පහළොස්වන සමුළු රැස්වීම පැවැත්වීමට සැලසුම් කර තිබුනා. ඊට සමගාමීව ජූලි 18-20 දිනවල “දකුණු ආසියානු එකමුතුවක් කරා” යන තේමාව යටතේ ජනතා සාක් උළෙල නමින් දකුණු ආසියාවේ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, මාලදිවයින, නේපාලය, භූතානය, සහ ඇෆ්ගනිස්ථානය යන කලාපයේ සියලු රටවල් නියෝජනය කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ විවිධ ප්‍රජා නියෝජිතයන් 400ක් ද ශ්‍රී ලාංකිකයන් 1000 කට වැඩි ගණනක් ද එක් රැස් වු විශාල සමුළුවක් සංවිධානය වුනා. මෙහි දී ප්‍රධාන සැසි තුනක් ලෙස “සමාජ ව්‍යාපාර, විරෝධය දැක්වීම, සහ විකල්ප” යන පොදු තේමාව යටතේ වැඩමුළු 29ක් පැවැත්වුනා. 

 

මෙම සමුළුව වෙනුවෙන් පැවැත්වූ වැඩ සටහන්වල දී කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම, ගමන් මඟෙහි සහකාරුවෝ සහ ඊක්වල් ග්‍රවුන්ඩ් යන සංවිධාන තුනම එකට එක්ව කුටියක් පැවැත්වූ අතර, නිදහස් පා ගමනකට ද එක් වුනා.

 

 එම ප්‍රදර්ශන කුටියෙහි ලිංගික සෞඛ්‍යය, සමාජභාවය, ලිංගිකත්වය, සහ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ආදී මාතෘකා  පිළිබඳ දැනුවත් කිරීමේ දැන්වීම් පත්‍රිකා, මාසික සඟරා, වැනි දෑ නොමිලේ ද සහ ස්ටිකර් පෝස්ටර් සහ ටීෂර්ට් ආදිය මුදලට ද ඛෙදා දුන් අතර, මෙම කුටිය ඉතා වර්ණවත් ලෙස සකස් කොට තිබුනු බැවින් සියලු දෙනාගේම අවධානය ඒ වෙත ලැබුනා.

 

මෙම සමුළුව 2008 ජූලි 18/19/20 දින තුන පුරා කොළඹ නගර සභාව ආශ්‍රිතව ඇති විහාර මහාදේවී උද්‍යානයේ දී පැවැත්වුනා.  නිදහසේ පා ගමනට දහස් ගණන් ජනයා සහභාගි වූ අතර, LGBTIQ+ අයිතිවාසිකම් ගැන හඬ නැගූ මෙම ලාංකීය සංවිධාන තුනද වීදි බැස දේදුනු කොඩි අතැතිව  LGBTIQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ ඔවුන්ගේ නිදහස වෙනුවෙන් මහපාරේ පාගමනක් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටයි.  මෙම පාගමනට පපරෙ සංගීතය සහ LGBTIQ පුද්ගලයන්ගේ ඩ්‍රැග් විලාසිතා සහ නර්තනයන් ද එක්ව තිබුනා.

Scroll to Top