2008 කොළඹ අභිමානයේ දෙවැනි අංගය වූ පළමු LGBT ඡායාරූප සහ කලා ප්‍රදර්ශනය “රේන්බෝ විෂන්ස්” (“Rainbow Visions”) ට WSG සාමාජිකයන් ද කලා නිර්මාණ සහ ඡායාරූපවලින් දායක වුනා. පහත දැක්වෙන්නේ එසේ ඡායාරූප ඉදිරිපත් කිරීමෙන් එයට දායක වූ එක් සාමාජිකාවකගේ අත්දැකීමයි.
“මට හැමතිස්සෙම වගේ කාන්තා සිරුරු ඡායාරූපයට හසු කර ගන්න ඕන වුණු නමුත්, කවදාවත් එහෙම කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත්, අභිමානය ඡායාරූප සහ කලා ප්‍රදර්ශනය ගැන ආරංචි වූ වහාම, මීට පෙර කවදාවත් නොකළ දෙයක් කිරීමට මෙය කදිම අවස්ථාවක් බව මට වැටහුණා.
වාසනාවකට මෙන්, මගේ සමීපතම ලෙස්බියන් මිතුරන් හය දෙනෙකු මා වෙනුවෙන් ඔවුන්ගේ පිටවල් නිරාවරණය කිරීමට කැමැති කර ගන්න මට පුලුවන් වුනා! ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ බෙල්ල පිටුපස සිට පිටේ පහළ කොටස තෙක් පමණක් ආවරණය කරමින් තට්ටම් අඩංගු නොවන සේ ඡායාරූප ගන්නා බව මට ඔවුන්ට පැහැදිලි කිරීමට සිදු වුනා. මුලදී, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මේ ගැන සාධාරණ දෙගිඩියාවක් තිබුණත්, තමන්ගේ පිට ප්‍රදේශය පමණක් පෙන්වීමට ඇති බව තේරුම් ගත් පසුව ඔවුන් සියල්ලෝම මෙයට කැමැති වුනා.
ඉතින් අපි ඉරිදා දවසක හැන්දෑවක අපිට මේ ඡායාරූප ගැනීම සඳහා කාරුණිකව ඉඩ ලබා දුන් මිතුරන් දෙදෙනෙකුගේ නිවසක දී හමුවුනා. ප්‍රමාණවත් ස්වාභාවික ආලෝකයක් සහිත අවකාශයක් තිබෙන අතරම, පුද්ගලිකත්වය රැකෙන, ආරක්ෂාකාරී අවකාශයක් භාවිතා කිරීම අපිට විශේෂයෙන් වැදගත් වුනා. සියලුම දෙනා තමන් කැමැති පාට තෝරා ගැනීමෙන් පසුව, එකිනෙකාගේ පිට ප්‍රදේශය ඒ තෝරා ගත් දේදුනු පාටෙන් තීරුවක් ලෙස දිග අතට වර්ණ ගැන්නුවා. මේක අපි බොහෝ දෙනෙකුට අලුත් අත්දැකීමක් වුනා.
මේ වර්ණ ගැන්වීම කරන්නට පෙර ඕනෑම කෙනෙකුට තමන්ගේ පියයුරු පත්තර කොළවලින් ආවරණය කර ගැනීමේ අවස්ථාව ලබා දුන්නේ තමන් නිරූපණයේ යෙදෙන්නේ නිරුවතින් යැයි දැනීම අනවශ්‍ය නිසයි. විවිධ ඉරියව් පරාසයක හිඳිමින් ඡායාරූප 546ක් පමණ රූගත කළ අපි දවස නිමා කළේ, ප්‍රමාද වූ දිවා ආහාරය ද, සීතල බියර් එකක් ද ගනිමිනුයි. සමස්තයක් විදියට ගත්තම මේක මට හරිම හොඳ අත්දැකීමක් වගේම, යාළු මිත්‍රකම් පවත්වා ගෙන යන්නත් උදව්වක් වුනා.
ඔක්කොම ගත්තම, මේක සාමූහික ප්රයත්නයක් බවත් කියන්න ඕනෙ. ප්‍රදර්ශනයෙ දි එක් කෙනෙකුට වැඩි ගණනකට මේ ඡායාරූපය මිල දී ගන්න අවශ්‍ය වුන එකෙන්ම ඒ වැඩේ සාර්ථකත්වය පෙනුනා! ඉතින් උදව් වෙච්ච හැමෝටම, විශේෂයෙන්ම තමන්ගේ පිටවල් පෙන්වමින් නිරූපණයේ යෙදුනු මිතුරන් සය දෙනාට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතරම, එතන හිටපු විශේෂ එක්කෙනෙක්ව විශේෂයෙන් මතක් කරනවා.”
මෙය සංවේදීනි පුවත් ලිපියෙන් උපුටා ගත්තකි. මෙහි වෙනත් සිංහල පිටපතක් සංවේදිනි සගරාවේ පළ වූ නමුත්, මුල් පිටපත ලියා ඇත්තේ ඉංග්‍රීසි බසින් නිසා, එහි තේරුම වඩාත් මුල් අදහසට සමීප වෙන ලෙස නැවත පරිවර්තනය කර තිබෙනවා. මුල් සිංහල පිටපත තුළ නිරුවත, හෝ අඩ නිරුවත හෝ බියර් බීම ගැන හැඟවෙන වචන ඉවත් කර, යම් දුරකට සම්ප්‍රදායික සදාචාරාත්මක භාෂා රාමුවලට ගැලපෙන ලෙස යම් වචන පරිවර්තනය කර තිබූ අතර, එයින් පෙනෙන්නේ WSG විසින් පළ කරන ලිංගික අයිතිවාසිකම් ගැන කතා කෙරෙන ප්රකාශනයක පවා ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් කිව හැකි දේවල් සම්බන්ධයෙන් වෙනස් සංස්කෘතික සීමාවන් තිබෙන්නට හැකි බවයි.
Original English Text
“I have always wanted to shoot women’s bodies, but had never got the chance to do so. However, as soon as I heard about the PRIDE Photo: and Art Exhibition, I realized that this would be the ideal chance to try my hand at something I had never done before. Luckily for me I managed to rope in 6 of my closest lesbian friends to bare their backs for me! Of course I had to explain that I was only planning to shoot their backs – from the nape of the neck to their lower backs, excluding the buttocks! Although at first, most of them had reasonable concerns of modesty. they were all ready to bare their backs as soon as they realized that they only had to “model their backs, So we all met up on a Sunday at “Frog and Cow’s” residence which they very kindly offered for the shoot It was especially important for us to use a space that had enough natural lighting, while at the same time being a private and personal space. Once everyone chose a colour they liked, we began to paint each other’s backs in their designated rainbow colour, This was also quite a new experience for most of us. Before any of the paintings however, everyone had the option of neatly pasting newspaper over their boobs In order that they didn’t have to feel as if they were modeling in the_ nude. After shooting about 546 photographs in a range of different positions, we called it a day, ending up in a late lunch and chilled beer. Overall, it was a great experience for me as well as a great excuse to meet up and bond. All in all it must be noted that this was a collective effort – and the fact that more than one person at the exhibition actually wanted to buy the photograph meant that it was a successful project! So my sincere thanks to all who helped out and especially to all their bared their backs for me and a special smooch to one of them!”
Original Sinhala Text
“මා තුල කලක සිට කැමැත්තක් තිබුනා. කාන්තාවන්ගේ ශරීරය ඡායාරූප ගත කිරීමට නමුත් මට එයට අවස්ථාවක් උදාවුනේ නැහැ. කෙසේ හෝ මට ප්‍රයිඩ් ඡායාරුප ප්‍රදර්ශනය ගැන අසන්නට ලැබුනා. ඉතින් මම හිතුවා මේක මට කදිම අවස්ථාව කියා. මා නොකළ දෙයක් කිරීමට වාසනාවකට මෙන් මගේ බොහොම සමීප සමලිංගික මිතුරියන් හය දෙනෙකු මෙි සඳහා යොදාගන්න අවස්ථාව ලැබුනා.
මෙම ඡායාරූප ගත කිරීම ගැන මම ඔවුනට පැහැදිලි කිරීමක් කළා. කුමන ආකාරයකටද මම මෙය ඉදිරිපත් කරන්න යන්නේ කියා. එය මෙසේය. ඔවුන්ගේ ඡායාරූප ගත කරන්නේ ගෙල පිටුපස සිට බඳ දක්වා පමණක් ආවරණය වන බව මම ඔවුනට පැහැදිලි කර දුන්නෙමි. මුලින්ම ඔවුනගේ කිහිප දෙනෙකු දෙගිඩියාවෙන් පසුවුවද, තම පිට ප්‍රදේශය පමණක් නිරූපනය වන බැවින් ඔවුන් එයට කැමැත්ත පළ කළේය.
මෙහිදී විශේෂයෙන් ඡායාරූප ගත කරන ස්ථානය සහ ස්වභාවික ආලෝකය ගැන මෙන්ම ඔවුනගේ පෞද්ගලිකභාවය ආරක්ෂා කිරිම මට විශේෂ හේතුවක් වුනා.
මෙම ඡායාරූප ගත කිරීමට (Photo Shoot) අපගේ මිත්‍රයන් දෙපලකගේ නිවසක් ඔවුන් සිය කැමැත්තෙන්ම අපට ලබා දුන් අතර අප සියලු දෙනා ඉරු දිනක එහිදී හමුවිය.
තමන් කැමති වර්ණයන් තෝරාගත් පසු අපි එම වර්ණයන් ඔවුන්ගේ පිටෙහි දික් අතට ඉරක් ලෙස පින්තාරු කළෙමු.
සායම් ගෑම ආරම්භයට පෙර සියළු දෙනාම තමන්ගේ ශරීරයේ ඉදිරිපස උඩුකය වැසෙන සේ කඩදාසි අලවා ගත් අතර, තමන්ගේ නිරුවත ආවරණය නොවීමටයි. මෙය අපට වෙනස් අත්දැකීමක් විය. මේ සඳහා ඡායාරූප 546 ක් විවිධ ඉරියව්වලින් රූගත කර අපි දවසේ වැඩ නිමා කළෙමු. ඉන් අනතුරුව අපි සියලූ දෙනාම දිවා ආහාරය ලබා ගත්තේය. මෙය මට කදීම අත්දැකීමක් වූ අතර මිතුරන් හමුවී සබඳකම් වඩාත් සමීපව ගොඩනගා ගැනීමටද අවස්ථාවක් විය. ඡායාරූප ප්‍රදර්ශනයේදී කිපදෙනෙක්ම මෙම ඡායාරූප මිලදී ගැනීමට ඉදිරිපත්වූ අතර, එයින් මට හැඟී ගියේ මෙය ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් වූ බවයි. මෙහිදී මට නොයක් අයුරින් සහය දැක්වූ සියලු දෙනාටමත්, විශේෂයෙන් නිරූපනයේ යෙදුනු මාගේ මිත්රයින් සයදෙනාට මාගේ හෘදයාංග ස්තුතිය පුද කරන්නෙමි. මගේ හදවතට සමීප පුද්ගලයාට ස්තුති කිරීමට අමතක නොකළෙමි.”
ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සන්දර්භය ඇතුළේ ස්ත්‍රී ශරීර ඡායාරූපගතකරණය, විශේෂයෙන්ම ඔවුන්ගේ නිරුවත, අඩනිරුවත ඡායාරූපගතකරණය හෝ කලා නිර්මාණයක පෙන්වීම පවා කොයි තරම් සංකීර්ණ, හැඟීම් සහ බැඳුනු කාරණයක් ද යන්නත්, එවැනි නිර්මාණයකට පවා කැමැත්ත ගැනීමේ ක්‍රියාවලිය කොයිතරම් සිතා බැලිය යුතු කාරණයක් ද යන්නත් මෙය කියවූ විට කල්පනා වෙනවා.