බීජිං+10 සමුළුව

කාන්තා අයිතිවාසිකම් පිළිබඳ බීජිං ක්‍රියාකාරී සැලැස්මේ තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ දී කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ 49 වන කොමිසම නොහොත්  බීජිං+10  සමුළුව පැවැත්වුන අතර, WSG හි නියෝජිතයින් දෙදෙනෙක් 2005 මාර්තු 03 සිට 13 දක්වා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි පැවති මෙම සමුළුව හිවෝස් පදනමේ සහාය ඇතිව සහභාගී වුනා. 

 

“බීජිං+ 10 : සමාජභාව සමානාත්මතාවය, සංවර්ධනය සහ සාමය සාක්ෂාත් කර ගැනීම” යන තේමාව යටතේ පැවැති මෙම වැඩසටහනට ප්‍රධාන මාතෘකා දෙකක් ඇතුළත් වූවා:

 

  • ක්‍රියාකාරීත්වය සඳහා බීජිං වේදිකාව ක්‍රියාත්මක කිරීම සහ බීජිං +5 ප්‍රතිඵල ලේඛන සමාලෝචනය කිරීම;
  • කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ දියුණුව සහ බලගැන්වීම සඳහා වත්මන් අභියෝග සහ ඉදිරි දැක්මක් සහිත උපාය මාර්ග ගැන කටයුතු කිරීම 

 

කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ තත්වයන් සමාලෝචනය සහ ඇගයීම ජාතික මට්ටමින් ක්‍රියාත්මක කිරීම, ජයග්‍රහණ සමාලෝචනය, අඩුපාඩු සහ අභියෝග හඳුනා ගැනීම සහ වඩාත් ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින්, බීජිං වේදිකාව තුළ පෙර ගත් ක්‍රියාමාර්ග සහ මුලපිරීම් තවදුරටත් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහි දී අවධානය යොමු කළා. සහස්‍ර ප්‍රකාශනයේ අඩංගු ඉලක්ක ඇතුළුව ජාත්‍යන්තරව එකඟ වූ සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා බීජිං ප්‍රකාශනය සහ ක්‍රියාකාරී වේදිකාව සම්පූර්ණයෙන් හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව අවධාරණය කරමින් නියෝජිතයින් සමුළුව අවසානයේ දී ප්‍රකාශනයක් සම්මත කළා. 

 

පුධාන වැඩසටහනට අමතරව මෙහිදී WSG නියෝජිතයින් වෙනත් විවිධ රැස්වීම්වලට ද සහභාගි වුනා. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් පවත්වන ලද ‘කාන්තා අයිතිවාසිකම් යථාර්ථයක් කිරීම: සැබෑ වෙනසක් අත්කර ගැනීම සඳහා ඔබේ රජයේ වගවීම ගැන කටයුතු කරන ආකාරය’ යන සම්මන්ත්‍රණයේදී IGLHRC හි වැඩසටහන් අධ්‍යක්ෂිකා සුසානා ෆ්‍රයිඩ්, පවුල තුළ කාන්තාවන්ට එරෙහි හිංසනයන් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස රජයන්ගෙන් ඉල්ලා සිටීමට ක්‍රියාකාරීන්ට කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව කතා කළා. නේපාලයේ සමලිංගික කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ නඩුවක් ගැන ඇය විශේෂයෙන් සඳහන්  කරමින් කීවේ, ඔවුන්ගේ පවුල් විසින් එම කාන්තාවන් දෙදෙනාට එරෙහිව සිදු කළ ප්‍රචණ්ඩත්වය දිගුකාලීන මානසික කැළැල් ඇති කිරීමට දායක වූ ආකාරය යි. 

 

ඔවුන් ‘පොරොන්දුව ඉුටු කිරීම: කාන්තා මානව හිමිකම් සඳහා අනාගත දිශානතීන්’ යන මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට ද සහභාගී වුනා. බීජිං+10 සමුළුවට පසු කාන්තා මානව හිමිකම් ඉදිරියට ගෙන යාමේ ඔවුන්ගේ දැක්ම පිළිබඳව ශ්‍රී ලංකාව, ෆීජි, බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් කථිකයින් අට දෙනෙකු මෙම අවස්ථාවේ දී ඉදිරිපත් කිරීම් සිදු කළ අතර, මෙහි දී කතා කළ සුනිලා අබේසේකර විසින් රැඩිකල්වාදයේ ආත්මය නැවත පණ ගන්වන ලෙස කාන්තා ව්‍යාපාරයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියා.

 

මෙහි අනෙක් විශේෂත්වය වූයේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ කොමිසමේ විවිධ ලිංගිකත්වය පිළිබඳ සභාවාරය (Diverse Sexualities Caucus) යි. සමුළුවේ අවසාන සතිය පුරාවට පැවැති මේ අංගයට ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍යය, කැනඩාව, හංගේරියාව, මැලේසියාව, නයිජීරියාව, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් ලිංගික අයිතිවාසිකම් පිළිබඳ කටයුතු කරන නියෝජිතයින් සහභාගි වූ අතර, එම සතියේ සෑම උදෑසනකම පාහේ රැස්වූ ඔවුන්, ජාත්‍යන්තර මානව හිමිකම්වලට සහ මූලික අයිතීන්වලට අදාළ වර්ණාවලියේ ලිංගික අයිතිවාසිකම් සඳහා ඇති ස්ථානය ඉස්මතු කිරීමේ මූලික ඉලක්කය සහිතව තමන්ගේ ක්‍රියාමාර්ග සැලසුම් කළා. සභාවාර මණ්ඩලය වාචික මැදිහත්වීමක් කෙටුම්පත් කළ නමුත්, සැසිවල සීමිත කාලසටහන හේතුවෙන් ඔවුන්ට අවකාශය ලබා දිය නොහැකි බව පසුව දැනුම් දීමෙන් ඔවුන් යම් දුරකට කලකිරීමට පත් වුවත්, සමුළුවේදී ලේඛනය පුළුල් ලෙස බෙදා හැරීමට ඔවුන්ට හැකි වුනා.

 

WSG සාමාජිකයින් LGBT සහ කාන්තා මානව හිමිකම් ගැටළු පිළිබඳ තවත් බොහෝ වැඩසහටහන්වලට ද සහභාගී වුනා. මාර්තු 8 වන දින ජගත් කාන්තා දිනය සමරමින් නිව්යෝර්ක් නගරය හරහා සිදු කළ කාන්තා පාගමන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපිට ඩැග් හැමර්ස්ක්ජෝල්ඩ් ප්ලාසා හි පැවති විරෝධතාව මේ අතර ප්‍රධාන ඒවා වූවා..

 

සමුළුවෙන් අනතරුව, මාර්තු 23 වෙනිදා WSG විසින් සාමාජිකයන්ගේ රැස්වීමක් සූදානම් කර බීජිං +10 සමුළුවේ අත්දැකීම් ඔවුන් සමග ද බෙදා ගෙන, ඉදිරි ක්‍රියා මාර්ග ගැන ද සාකච්ඡා කර තිබෙනවා.

Scroll to Top