
ඉන්දියාවේ මුම්බායේ ගොරොගොඅන් ප්‍රදේශයේ පැවැති ලෝක සමාජ සමුළුවට (World Social Forum) WSG ද සහභාගි වූ අතර, මේ සමුළුවට ඉන්දියානුවන් සහ වෙනත් රටවල අය ලක්ෂයකට වැඩි පිරිසක් සහභාගි වුනා. දින පහක් තිස්සේ පැවැති මේ සමුළුවේ දී 1200කට වැඩි විවිධ අංග සංවිධානය වූ අතර, මෙහිදී ඉන්දියාවේ ලෙස්බියන්, ද්විලිංගික සහ සංක්‍රාන්ති කාන්තාවන් වෙනුවෙන් වැඩ කළ සංවිධානයක් වූ මුම්බායේ අන්චාල් භාරය විසින් ‘මූලධර්මවාදී/ පීතෘ මූලික සමාජයක ලෙස්බියන් ක්‍රියාකාරීත්වය’ මැයෙන් සාකච්ඡාවක් පැවැත් වූ අතර එයට WSG ආයතනය වෙනුවෙන් සහභාගි වු රොසෑනා ෆ්ලෙමර් කල්දේරා WSG ආයතනය පුරුෂ මූලික සමාජයක වැඩ කිරීමේ දී තමන්ට මුහුණ පෑමට වන අභියෝග ගැන එහි දී කතාවක් සිදු කළා. දකුණු අර්ධගෝලයේ සංවිධානවල LGBT සාමූහිකයක් වන සවුත්-සවුත් ඩයලොග් (දකුණ-දකුණ සාකච්ඡාව) සංවිධානය විසින් මෙහිදී ‘බහිෂ්කාරී ගෝලීයකරණය වෙනුවට උපාය මාර්ග’ නමින් සාකච්ඡා මණ්ඩපයක් ද, ‘ගෝලීය වෙනස්කම්වලට විවිධ විකල්ප’ යනුවෙන් විවාදාත්මක සම්මන්ත්‍රණයක් ද පැවැත්වූවා. මෙම අංග දෙකේදීම විවිධ රටවලින් කථිකයන් තමන්ගේ රටේ කුයර් අයිතිවාසිකම් ගැන කතා කළ අතර, ශ්‍රී ලංකාවෙන් සුනිලා අබේසේකර කුයර් අයිතිවාසිකම් ගැන අදහස් දැක්වූවා. රේන්බෝ ප්ලැනට් (දේදුනු ගෝලය) නම් LGBT සංවිධානවල තවත් එකතුවක් විසින් මෙහි දී ‘ලිංගිකත්වය පිළිබඳ ගැටළු ගැන වැඩ කරන විවිධ සමාජ ව්‍යාපාර අතර සාකච්ඡාවක්’ යන මැයෙන් තවත් අංගයක් සංවිධානය කළ අතර එහි විශේෂත්වය වූයේ LGBT පුද්ගලයන්, ලිංගික වෘත්තිකයන්, හිජ්රා පුද්ගලයන්, ස්ත්‍රීවාදීන්, වාමාංශිකයන් ආදී පුළුල් පරාසයක විහිදුනු කථිකයන්ගේ කතා, ජීවන අත්දැකීම් බෙදා හදා ගැනීම් මෙන්ම, සංස්කෘතිකාංග ඉදිරිපත් කිරීම් තුළින් ලිංගිකත්වය හා බැඳුනු විවිධ පැතිකඩ ගැන කතා කිරීමයි. එයට දෙදහසකට වැඩි පිරිසක් සහභාගි වී තිබෙනවා. ප්‍රීමා ඩොනා නම් මැලේසියානු සංක්‍රාන්ති කණ්ඩායමක් විසින් තවත් සංස්කෘතිකාංගයක් වෙනම සංවිධානය කර තිබෙනවා.