
2000 ජූලි 1 සිට 7 දක්වා 20 වැනි ILGA (අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් සංගමයේ) ලෝක සමුළුව ඉතාලියේ අගනුවර රෝමයේ දී පැවැත්වුනා. මේ සමුළුවට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම (WSG) නියෝජනය කරමින් එක් ලෙස්බියන් ක්‍රියාකාරිනියක් ද, ගමන්මගේ සහකරුවෝ සංවිධානය නියෝජනය කරමින් සමරිසි ක්‍රියාකාරිකයෙක් ද මෙම සමුළුවට සහභාගි වුනා. සංවිධායකන්ට අනුව සමුළුව අවසානයේ පැවැත්වුනු ප්‍රයිඩ් පාගමනට 250,000ක පිරිසක් සහභාගි වී තිබෙනවා.
මෙය ලෝක ප්‍රයිඩ් උළෙලවල්වල පළමු වැන්නයි. ක්‍රිස්තියානි ධර්මය ලොවට බිහි වී වසර 2000ක ගත වෙන ශ්‍රේෂ්ඨ ජුබිලිය අතරතුර කතෝලික බැතිමතුන් බොහෝ දෙනෙක් රෝමය වන්දනා කිරීමට එන බැවින් මෙවැනි උත්සවයක් පැවැත්වීම ක්‍රිස්තියානි වටිනාකම්වලට කරන වරදක් යැයි දෙවන ජෝන් පෝල් පාප්තුමා ප්‍රකාශයක් ද නිකුත් කළ අතර කතෝලික පල්ලියේ බරපතල විරෝධය ඒ වෙත යොමු වුනා. රෝමයේ වාමාංශික නගරාධිපති Francesco Rutelli මෙයට සහයෝගය සහ ආධාර ලබා දීමට මුලින් එකගව තිබුනත් පසුව විවිධ අයුරින් විරුද්ධ වුනා.
සතියක් පුරා පැවැත්වුනු විවිධ අංගවල උත්සව සිරිය ද, ක්‍රියාකාරීන්ගේ වැඩකටයුතු ද විසින් රෝමයේ ලෝක ප්‍රයිඩ් උළෙල 2000 අති සාර්ථක එකක් බවට පත් කළා. බොහෝ දුරට යුරෝපය කේන්ද්‍රීය වුවත්, ආසියාව නියෝජනය කරමින් ඉන්දියාව, පකිස්ථානය, ශ්‍රී ලංකාව, චීනය, ෆීජි සහ පිලිපීන යන රටවලින් ක්‍රියාකාරීන් පැමිණ සිටි අතර, ලෝකයේ විවිධ පැතිවලින් පැමිණි ක්‍රියාකාරීන් 150 ක් පමණ එහි සිටියා. වැඩි වශයෙන් සාකච්ඡා කරන ලද මාතෘකා වූයේ ආගම සහ සමලිංගිකත්වය, HIV/AIDS සම්බන්ධ ගැටළු සහ සමලිංගික පුද්ගලයින්ගේ මිතුරන් සහ දෙමාපියන් සඳහා ලෝක සමුළුව පැවැත්වීමේ වැදගත්කමයි.
සමුළුවේ දී ILGA හි තීරණ ගැනීමේ ක්‍රියාවලීන්වල දී, සෞඛ්‍යය, මානව හිමිකම්, සහ තරුණ අය සහ විවිධ භූගෝලීය කලාප තුල සිදුවන ජාලකරණ ප්‍රයත්නයන් සමග, කලාපීය සහ ගෝලීය මට්ටමින් කාන්තාවන් සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාවය ගැන විශේෂ කාන්තා බල මණ්ඩලයක් මගින් සාකච්ඡා කෙරුනා.
මෙහිදී “Are you greedy?”යන චිත්‍රපටයේ මංගල දර්ශනය (මෙය අපගේ මධ්‍යස්ථාන පුස්තකාලයේ දී නැරඹීමට හැකියාව ඇත) ඇතුළු චිත්‍රපට උළෙලවල් ද, “Flying the Rainbow” බැනරය යටතේ කළ නර්තන ප්‍රසංගයක් ද, නාට්‍ය නිෂ්පාදන, සංගීත සංදර්ශන, Geri Halliwell වැනි කලාකරුවන් සහභාගි වූ ජාත්‍යන්තර මෙගා සංගීත ප්‍රසංගයක් ද අවසානයේ රෝමයේ වීදි හරහා පැවැත්වුනු ප්‍රයිඩ් පා ගමනක් ද සමගින් සතියක් පුරාවට විවිධාකාර සැමරුම් සහ උත්සව අංග ගණනාවක් පැවැත්වුනා.