ගමන්මගේ සහකරුවෝ සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එක්ව ඒඩ්ස් රෝගීන්ට ආධාර පිණිස සංවිධානය කළ ‘පින්ක් බෝල් 2000’ සාදය වසර 2000 මාර්තු මස 11 රාත්‍රි 7.00 සිට කොළඹ නාරාහේන්පිට ශාලිකා පිටියේ දී පැවැත්වුනි.

සාදය සඳහා ටිකට්පත මුද්‍රණය කිරීමට ඒඩ්ස් සංධානය (AIDS Coalition) විසින් උදව් කර ඇති අතර, වෙළඳ දැන්වීම් සහිත සමරු ප්රකාශනයක් පළ කර සාදය සංවිධානය කිරීමට ගිය වියදම් ද යම් ප්‍රමාණයක් ද ආවරණය කර ගෙන තිබේ. එසේ වුවද යම් වෙළඳ ආයතන ඔවුන් සමලිංගික අයගේ අයිතීන් ගැන කටයුතු කරන බව දැන ගැනීමෙන් පසු අනුග්‍රහය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇතත් එසේ නොවූ අනුග්රාහකයන් ගණනාවක් ද සිට ඇත.
ගමන් මගේ සහකරුවෝ ආයතනයේ තරුණ සාමාජිකයන් කණ්ඩායමක් විසින් නර්තන අංග ඉදිරිපත් කෙරුනු අතර, රාත්‍රි 7 සිට සංගීතය වාදනය කෙරුනි.
සාදයට බලාපොරොත්තු වූවාට ද වඩා හොඳ සහභාගීත්වයක් ලැබුණ අතර, මෙය කුයර් කාන්තාවන් සම්බන්ධ වී ප්‍රසිද්ධ ස්ථානයක පළමු වරට සංවිධානය කළ සාදයයි.
මෙම සාදය බෝල් යනුවෙන් නම් කිරීම අවධානයට ලක්විය යුතු තව කාරණයක් වෙන අතර බටහිර රටවල කුයර් ප්‍රජාව අතර යටබිම්ගත උපසංස්කෘතිකාංගයක් වන බෝල්රූම් සංස්කෘතියේ බලපෑම මෙය එලෙස නම් කිරීමට හේතු වූවා විය හැකිය. එහෙත් සාදයේ අන්තර්ගතයට බෝල්රූම් සංස්කෘතියේ බලපෑමක් තිබූ බව නොපෙනේ.
මෙම සාදයට තෝරාගත් ජනමාධ්‍යවේදීන්ට ද ආරාධනා කර තිබේ. පහත දැක්වෙන්නේ චන්ද්‍රසිරි කටුදෙණිය නම් ජනමාධ්‍යවේදියකු ලියූ ලිපියකින් කොටසකි.
“සාදයේ උච්චතම මොහොත උදා වුණේ පාට පාට විදුලි ආලෝකය කැරකෙමින් ශාලාව පුරා දිවයද් දී ආරම්භ වුණු සංගීත රාවයෙන්.
සංගීත කණ්ඩායම සිංහල, ද්‍රවිඩ, හින්දි ඉංග්‍රීසි විවිධ ගීත ගායනා කරද්දී වේදිකාව වෙත පැමිණි තරුණියක් එයට ගැලපෙන රංගනයන් ඉදිරිපත් කළේ සිය සහජ හැකියාවන් මොනවට පෙන්නුම් කරමින්.
සිංහල, ගැමි ගීත ගයද්දී ගම්බද ලලනාවකගේ සිරිය මවමින් රෙද්ද හැට්ටය හැඳගත් තරුණියන් ද, ද්‍රවිඩ ගීත සඳහා මල් මාලා වලින් කොණ්ඩය සරසාගෙන අලංකාරවත් ලෙස සාරිවලින් සැරසුණු ළඳුන් ද, බටහිර ගීත ගැයෙද්දී බටහිර හුරුවට ඇඳුම් හැඳගත් තරුණියන් ද සිය නැටුම් ඉදිරිපත් කළේ එය නරඹමින් සිටි අයගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර මැදින්.
මෙම සාදයේ…. උත්සවයේ විශේෂත්වය එළැඹුණේ එසේ නැටුම් ඉදිරිපත් වෙද්දී තරුණියන් ලෙස වෙස් වලාගෙන එම නැටුම් ඉදිරිපත් කරන ලද්දේ තරුණයින් වීමයි එයට හේතුවයි….
තුන්සිය හැටපස් දවසේ ම සාද පවත්වන ශාලිකා ශාලාවටත් මෙය අපූරු අත්දැකීමක්. එහි නිලධාරියෙකුගෙන් අප කළ විමසුමක දී සඳහන් කළේ ශාලාව ආරම්භ කර විසිපස් වසරක් ගතවුවත් මෙවැනි සාදයක් පවත්වා නැති බවයි.
වෙනත් සාදයකට බව කියමින් ශාලාව වෙන් කළ බවත්, සංවිධායකයින්ගේ ඉල්ලීම් මත ප්‍රධාන දොරටුව වසා දමා අනෙක් දොරටුවකින් පිරිස ඇතුළට ගත් බවත් පැවැසූ ඔහු සත්‍යය දැනගත් පසු අන්දමන්ද වී ඇති බවක් ද පෙනෙන්නන්ට තිබුණු දෙයක්.
සාදයට සහභාගි වූ වැඩිහිටියන් දෙතුන් දෙනෙකුගෙන් අප කළ විමසුමක දී සඳහන් කළේ තමන්ට ඒ කාලයේ කළ
නොහැකි දේ කිරීමට තරුණයින් හොඳ ආරම්භයක් දී ඇති බවයි.
නමුත් මෙය විවාදයට භාජනය වන කරුණක් බව ද නොරහසක්.
චන්ද්‍රසිරි කටුදෙනිය
ඡායා:- ශ්‍රියන්ත වල්පොළ”