2000 කාන්තා දින වැඩ සටහන

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ – ලිප්ටන් වට රවුමේ පැවති රැළියේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින්, 2000 මාර්තු 8

වසර, 2000 මාර්තු 8 වැනි දින කාන්තා දින වැඩසටහනක් විහාර මහා දේවි උද්‍යානයේ ද, අනතුරුව කාන්තා අයිතීන් ගැන රැළියක් ලිප්ටන් වට රවුමේ ද පැවැත්වුනු අතර කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම ඇතුළුව දිවයින පුරා විවිධ කාන්තා සංවිධාන සහ ක්‍රියාකාරීන් ගණනාවක් එයට සහභාගී වූ අතර මෙය සංවිධානය කෙරුනේ, ලක්බිමේ මව්වරු සහ දියණියෝ සහ කාන්තා සංවිධාන එකතුව (Women’s NGO Forum) විසිනි. 

 

විහාර මහා දේවි උද්‍යානයේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් ලෙස්බියන් කාන්තා අයිතිවාසිකම්, ලිංගික සෞඛ්‍ය තොරතුරු සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම ගැන දැනුවත් කිරීමට ප්‍රචාරණ කුටියක් පැවැත්වූ අතර, තවත් කාන්තා සංවිධාන 24ක් ද කාන්තා අයිතිවාසිකම් සම්බන්ධ කුටි ඉදිරිපත් කළහ. 

 

මෙහි වැදගත්කම වන්නේ ලංකාවේ ලෙස්බියන් කාන්තාවන්ගේ කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධ මහජන අවකාශයකට කාන්තාවන් කණ්ඩායමක් පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙය වීමයි. කුටිය ඉදිරිපිට රෝස පැහැයෙන් යුත් බැනරයක් ද, ලෙස්බියන් පෝස්ටර් ද, පළමු මාධ්‍ය හමුවට පසුව WSG විසින් මෙතෙක් ලද මාධ්‍ය වාර්තාවල හරස්කඩක් සහිත පුවරුවක් ද ප්‍රදර්ශනය කර තිබුනි. 

 

එදින කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ පළමු අත් පත්‍රිකාව සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එළි දක්වන ලද අතර එහි ලෙස්බියන් කාන්තාවන්ගේ පැවැත්ම පිළිබඳ සාකච්ඡාවක් සහ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම ගැන හඳුන්වා දීමක් අඩංගු විය. එහි තේමාව වූයේ “ඔබ කාන්තාවන්ට එරෙහි හිංසනය හෙළා දකිනවා නම්, කාන්තාවන්ට ආදරය කරන කාන්තාවන්ට එරෙහි හිංසනය ද හෙළා දැකිය යුතුය!” යන්නයි.  HIV/AIDS සහ එහි මානව හිමිකම් පිළිබඳ තොරතුරු කුටිය හරහා සපයනු ලැබුනි. එසේම මෙම කුටියෙන් නොමිලේ ලබා දුන් වසර සැලසුම්කරණයන් (Year Planners) ලබා ගැනීමට කාන්තාවන් බොහෝ දෙනෙකු මේ කුටියට පැමිණි හෙයින් සැලසුම් කළ දෙයක් නොවූවද එය කුටිය වෙත කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට සාර්ථක උපායක් වූ බව සංවේදීනී පුවත්ලිපිය සඳහන් කරයි. එසේම එහි පැමිණෙන අයට අත්පත්‍රිකා ලබා දීම ද, විවිධ පුවත්පත්, ගුවන්විදුලි නාලිකා, සහ රූපවාහිනී නාලිකා ඇතුළු ජනමාධ්‍යවලට සම්මුඛ සාකච්ඡා ලබා දීම ද සිදුවිය. 

 

අනතුරුව ලිප්ටන් වට රවුමේ කාන්තා අයිතිවාසිකම් ගැන සුවිසල් රැළියක් පැවැත්වුනු අතර එයට රට පුරා කාන්තා සංවිධානවල පුළුල් නියෝජනයක් තිබුනි. කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එයට සහභාගී වූයේ ලෙස්බියන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන සටන්පාඨ ද රැගෙනය.

 

“අපි ආදරය කරන්නේ කවුද සහ අපි ජීවත් වන්නේ කෙසේද යන්න තෝරා ගැනීමට අපට අයිතියක් ඇත!”

 

 “අපගේ හැකියාවට මෙන්ම අපගේ ලිංගිකත්වයටද අපට ගරු කරන්න!”

 

“කාන්තාවන්ට ආදරය කරන කාන්තාවන් ද අන් සියල්ලන් හා සමානයි!”

 

යනු ඒවායෙන් සමහරකි. 

 

පසුව සන්ඩේ ලීඩර් පුවත්පත විසින් “මගේ ලිංගික දිශානතිය මගේ අයිතියයි” යන්න දැක්වෙන සටන්පාඨයක් අතැතිව සිටින WSG එක් සාමාජිකාවකගේ ඡායාරූපයක් “Out of the Closet” යන මාතෘකාව සහිතව ඔවුන්ගේ පුවත්පතේ පළ කර තිබුණි. එදින සවස, ‘ITN’ (ස්වාධීන රූපවාහිනී ජාලය) එහි ප්‍රවෘත්ති අතරතුර WSG සමඟ කල සම්මුඛ සාකච්ඡාවකින් කොටසක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ “මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ විශේෂත්වය වූයේ ගමන්මගේ සහකරුවෝ සමලිංගික සංවිධානයේ කාන්තාවන්ගේ සහභාගීත්වය බවයි. 

 

WSG සංවිධානයට කාන්තා දින සැමරුමට ආරාධනා කිරීම සම්බන්‍ධයෙන් සංවිධායකයන්ට විවිධ අභ්‍යන්තර සහ බාහිර පාර්ශවවලින් තදබල ලෙස විවේචනයන්ට මුහුණ පෑමට සිදුව ඇත.

Scroll to Top