පළමු මාධ්‍ය සාකච්ඡාව

WSG පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාව ගැන පුවත්පතක පලවූ මාධ්‍ය වාර්තාවක්. සන්ඩේ අයිලන්ඩ්,1999 අගෝස්තු 4

1999 අගෝස්තු මස 4 වන දින හෝ ආසන්න දිනයක   කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවන් පිරිසක් විසින් එන වසරේ දී තමන් සංවිධානය කිරීමට බලාපොරොත්තුවන ලෙස්බියන්  කාන්තාවන්ගේ ජාතික සම්මන්ත්‍රණයක් (National Convention) සම්බන්‍ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ලදී.  මෙම කණ්ඩායම තමන් ගමන්මගේ සහකරුවෝහි කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම ලෙස හඳුනා ගත් අතර, දැනට ගමන්මගේ සහකරුවෝ ආයතන අවකාශය තුල කාන්තාවන් ලෙස සංවිධානය වී ලෙස්බියන් කාන්තාවන් සඳහා සතිපතා සාකච්ඡාවක් පවත්වන බවත්, ලෙස්බියන් කාන්තාවන්ට බලපාන ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදු කරන බවත් කියා සිටියෝය. ද්විලිංගික සහ සංක්‍රාන්ති පුද්ගලයන් ගැන සටහනක් මේ සාකච්ඡාව ගැන සඳහන් කිසිදු ලේඛනයක අපට හමු නොවුනි.

 

ඊට මාස කිහිපයකට පෙර ජනමාධ්‍ය හරහා පුළුල් ලෙස වාර්තා කරන ලද ලෙස්බියන් යුවලගේ සියදිවි නසාගැනීමේ සිදුවීම මතක් කරමින් ලෙස්බියන් කාන්තාවන් මුහුණ දෙන කොන් කිරීම,  වෙනස් කොට සැලකීම, සහ ප්‍රචණ්ඩත්වය වැනි තත්ත්ව මත වින්දිතයන්ට අවශ්‍ය සහය දක්වන ප්‍රජා කණ්ඩායමක් ලෙස තමන් සංවිධානය වූ ආකාරය ගැන කතා කළහ.

 

ඔවුන් මතු කළ තවත් එක් කාරණයක් වූයේ ලෙස්බියන් කාන්තාවන්ට තමන්ගේ පවුලෙන් මුහුණ පෑමට වන ප්‍රශ්න යි.  43 වියැති ගේල් කියා තිබුනේ තමන් වයස විසි ගණන්වලදී නිදිපෙති බී දෙවරක් සියදිවි නසා ගැනීමට උත්සාහ කලේ තමන්ගේ ලිංගික දිශානතිය ගැන දෙමාපියන් හමුවේ කියන්නට එකල ඇයට තිබූ නොහැකියාව නිසා බවයි. සමන්ති කීවේ තමන්ගේ පියා තමන්ගේ ජීවන රටාව ගැන දක්වා ඇති තදබල විරෝධය හමුවේ ඇය තමන්ගේ වාසගම වෙනස් කිරීම ගෑන ද සිතා බලමින් සිටින බවය. 

 

ඉහත ඡායාරූපය උපුටා ගෙන ඇත්තේ අගෝස්තු 8 දින සන්ඩේ අයිලන්ඩ් පුවත්පතිනි. එහි සඳහන් වෙන ආකාරයට AFP ශ්‍රී ලංකා කාර්යමණ්ඩල ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ මෙම පිරිස සමග සම්මුඛ සාකච්ඡාවක් මෙහිදී සිදු කර ඇත. අමල් ජයසිංහ සමග කාන්තාවන් පස් දෙනෙකු සහ තවත් එක් පිරිමියෙකු මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙන ආකාරය මේ ඡායාරූපයේ දැක්වෙන අතර ඔවුන්ගේ පිටුපසින් අනන්‍යතාවය රැකෙන පරිදි මුහුණු ආවරණය කර මෙය ඡායාරූපය ලබා ගෙන ඇත. 

 

මේ ගැන සඳහන් වෙන විවිධ පුවත්පත් ලිපිවලට අනුව මෙම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්‍ධ වී ඇත්තේ ගේල්, සමන්ති, ටැමී, චණ්ඩි, කුමාරි සහ ශර්මන් ද රෝස් යන අයයි. “කුමාරි”,මෙම මාධ්‍ය සාකච්ඡාවේ ප්‍රධාන සංවිධායිකාව ලෙස කටයුතු කළ බවත් ආරක්ෂක හේතු මත සිය වාසගම හෙළි නොකළ බව වෙනත් පුවත්පත් ලිපිවල සඳහන් වෙතත්, කුමාරි ගැන කිසිදු සටහනක් අමල් ජයසිංහගේ ලිපියේ නැත. එසේම චණ්ඩි නමින් හඳුන්වන කාන්තාව  තමන්ගේ “කෙල්ලන්” ද චණ්ඩි ලෙස හඳුන්වමින් කතා කර ඇති අතර, පිහියක් ගත් පිරිමියෙක් සමග  ඇය ගැටවර වයසේ දී ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස ඇගේ වම් බාහුවේ ඇති කැළල ආඩම්බරයෙන් පෙන්නා ඇත. 

 

කාන්තාවන්ට සිය ගැටලු කතා කිරීමට වෙන්වූ අවකාශයක අවශ්‍යතාවත්, සමලිංගික පුරුෂයන් ඇතුළුව පිරිමින් විසින් හසුරුවන සමාජ ව්‍යාපාර තුල කාන්තාවන්ගේ කාරණා ගැන පැවතිය හැකි සීමාවන් ගැනත් දැනට ගමන්මගේ සහකරුවෝ සංවිධානය සිදු කරන වැඩ ගැන විස්තර ද සහිතව ෂර්මන් ද රෝස් මෙහිදී අදහස් දක්වන ලදී. 

 

ඉන් මාස දෙකකට පසුව පාරාදීසය සගරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන කුමාරි කාන්තා හමුවේ ආරම්භය ගැන මෙසේ සඳහන් කළාය.

 

“අපි කාන්තා හමුව පටන් ගන්න හිතුවෙ, පසුගිය කාලය පුරාම අපේ රටේ කාන්තා සමලිංගික ස්ත්‍රීන් නොයෙක් ගැටළුවලට මුහුණ පෑවා. අදත් මුහුණ දෙමින් හිදිනවා. මේ මෑතකදි කළුගඟට පැනල තරුණියන් දෙදෙනෙකු දිවිනසා ගත්තා. ඒ වගේ වාර්තාගත සිද්ධි ගොඩාක් තිබෙනවා. ඒ වගේම අපි මේ නිසා අපේ පෞද්ගලික ජීවිතයේදිත් හුඟාක් පීඩා වින්දා. අපිට හිතුණා අපි පීඩා වින්ද කාලය ඇති කියල. දැන් අපේ අයිතීන් වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන කියල. ඊට පස්සෙ තමයි, අපි කීප දෙනෙකු එකතු වෙලා, මෙය පිහිටුවා ගත්තේ. ඒ සඳහා ෂර්මන් ගෙන් විශාල පිටුවහලක් ලැබුණා.”

 

Scroll to Top