ගමන් මගේ සහකරුවෝ කාන්තා හමුව

මෙය 1999 අගෝස්තු මාසයේ පාරාදීසය සගරාවේ සිංහල බසින් පළ වූ දැන්වීමකි. සතිපතා  ගමන්මගේ සහකරුවෝ ආයතනයේ සංවිධානය වන කාන්තා හමුවට සහභාගි වන ලෙස  ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ට මෙයින් ඇරයුම් කරන නමුත් සමලිංගික,  ලෙස්බියන් හෝ ද්විලිංගික යන යෙදුම් මෙහිදී භාවිතා නොවේ. ලෙස්බියන් කාන්තාවන් හැඳින්වීමට මෙහි භාවිත කර ඇත්තේ “කාන්තාව කෙරෙහි දයාබරත්වයෙන් සංවේදී වූ කාන්තාවන්” සහ “අප හා සමව සිතන කාන්තාවන්” යන වදන්ය. 

 

තවත් විශේෂයක් වන්නේ මෙහි ඇති කාව්‍යමය භාෂාවයි. 

 

“බොහෝ කලක් තිස්සේ අපි

බිඳී ඉහිරුණු කොදෙව් සේ වෙන්ව,

අදිසි ආත්මයන් සේ වසන්ව,

දිවි මග පියවර සටහන් කළෙමු.

නගන්නට අපට හඬක් නොවුනි

හඬ නැගුවත් අසන්නට සවන් නොතිබුණි”

 

ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන් ලෙස තමන් මුහුණ දෙන හුදකලාව, පවුලෙන් සහ සමාජයෙන් වන නොපිළිගැනීම, සහ තමන්ට මුහුණ පෑමට වන කරදරවලට එරෙහිව සමාජය සංවේදී කිරීමට එකට එකතු වෙන ලෙස මෙයින් තවදුරටත් ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ගෙන් ඉල්ලා සිටී. 

 

“අසංවේදී සමාජය විනිවිද ගොස්

උඩි යටිකුරු කර සොලවා

නැවත කෙලින් කර සිටවා

අර්ථ පූර්ණ නව ගමන් මගකට යොමු කරවන්නට

සිය ගණනින් පිරිස් අවශ්‍ය නැත.

පැහැදිලි බුද්ධියෙන්, නිරවුල් මනසින්

සහ සැබෑ දයාබරත්වයෙන් එක් වුනොත්

ඔබත් මමත් පමණක්‌ම ඊට සෑහේ…

 

කාන්තා කාන්තා සබඳතාවයන් හමුවේ 

රැළි නගන නළල් තල

යළි සංසිඳුවන්නට නැණසත්

බාහු ශක්තියත් ඔබත් මමත්

නිරායාසයෙන්ම දරා සිටිමු..”

 

මෙම දැන්වීම පල කිරීමට තෝරා ගන්නා පාරාදීසය සගරාව 90 දශකයේ අග භාගයේ ජනප්‍රිය සමාජ දේශපාලන සඟරාවක් වෙන අතර මෙය සංස්කරණය කරන්නේ එකල ලිංගිකත්වය වැනි මාතෘකා සම්බන්ධයෙන් යම් සමාජ කතිකාවක් ඇති කිරීමට දායක වන විකල්ප බුද්ධිමතකු වන සිරිමල් විජේසිංහ ය. 99 ඔක්තෝබරයේ දී පාරාදීසය සගරාව කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම සමග සම්මුඛ සාකච්ඡාවක් ද පවත්වයි. 

 

Wiki Links: COJ, Sirimal Wijesinghe

 

Scroll to Top