WSG විසින් සමලිංගිකභීතිකාවට එරෙහි ජාත්‍යන්තර දිනය සමරමින් “ශ්‍රී ලාංකික සමාජයේ සමලිංගික භීතිකාව” මැයෙන් අන්තර් සංවිධාන වැඩමුළුවක් කොළඹ දී පැවැත්වූවා. මෙයින් මානසික සෞඛ්‍ය සහය සේවා, මානව හිමිකම්, කාත්තා අයිතිවාසිකම්, සංවර්ධන කටයුතුවල නියැලෙන සංවිධාන තම ක්ෂේත්‍රය තුළ දී සමලිංගිකභීතිකාව ජය ගැනීම ගැන සංවේදීකරණය කිරීමට උත්සාහ කරනු ලැබුවා. මෙම වසරේ අන්තර් සංවිධාන වැඩමුළුවල පළමු වැන්න වූ මෙයට සංවිධාන 12ක් නියෝජනය කරමින් 22 දෙනෙක් පැමිණියා.
පෙර වැඩමුළුවල දී මෙන්ම මෙහි අරමුණ වූයේ ද සමාජ ගැටළු සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ පාර්ශවකරුවන් අතර පුළුල් ලෙස ජාලගත වෙමින්, සමලිංගිකභීතිකාව සම්බන්ධ කාරණා සම්බන්ධයෙන් උපාය මාර්ග හඳුනා ගෙන, ඒවා සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. මෙහිදී විවිධ ආරාධිත දේශකයන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතිය, මාධ්‍ය, සහ මානසික සෞඛ්‍ය ආදී ක්ෂේත්‍රවල පවතින සමලිංගික භීතිකාව ගැන ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කළා.
ලෝකයේ සුළුතරයන්ට එරෙහි වෙනස් කොට සැලකීමේ ඉතිහාසයේ සන්දර්භය තුළ සමලිංගිකභීතිකාමය ප්‍රචණ්ඩත්වය ගැන සුනිලා අබේසේකර මහත්මිය අදහස් ඉදිරිපත් කළ අතර, අනතුරුව අදහස් දැක්වූ ඊකුවල් ග්‍රවුන්ඩ් හි විධායක අධ්‍යක්ෂක රොසැනා ෆ්ලෙමර් කල්දේරා ලිංගික අයිතිවාසිකම් සම්බන්ධයෙන් අන්තර්ජාතික මානව හිමිකම් දෘෂ්ටිකෝණයන් ගැන විශේෂයෙන් බ්‍රසීලියානු සම්මුතිය ගැන කතා කළා. ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ධර්මසිරි බණ්ඩාරනායක අදහස් දක්වමින් අප රටේ සමලිංගිකයන්ට මුහුණ පෑමට වී ඇති වෙනස් කොට සැලකීම ගැන කතා කළ අතර, නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම අදහස් දක්වමින් සමලිංගිකත්වය සාපරාධීකරණය නිසා LGBT පුද්ගලයන්ට මුහුණ පෑමට විය හැකි විවිධ හිරිහැර ගැන කතා කළා. ජනමාධ්‍යවේදී සීතා රංජනී සහ චිත්‍රපට අධ්‍යක්ෂක අනෝමා රාජකරුණා විවිධ කිවිඳියන් විසින් සිංහලෙන් ලියන ලද කවි කියවූ අතර, ඒ ඇසුරෙන් සමලිංගික ආදරය සහ ‘ශ්‍රී ලංකාවේ සමලිංගික භීතිකාව’ ගැනත් කතා කළා.