
අන්තර්ජාතික සමලිංගිකභීතිකාවට එරෙහි දිනයේ දී WSG සිය නව වෙබ් අඩවිය එළී දැක්වූවා. වෙබ් අඩවිය තිබුනේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. පෙර වෙබ් අඩවියේ අයිතිය සම්බන්ධයෙන් COJ ආයතනය සමග පසුගිය වසරේ ඇති වූ මතභේදයක් මත නව වෙබ් අඩවියක් පටන් ගැනීමේ අවශ්‍යතාවය පැන නැගී තිබුනා. මෙම වෙබ් අඩවිය WSG ආයතනයේ කාර්යාලය වසා දැමෙන කාලය ආසන්න වෙන තෙක් ක්‍රියාත්මක වුනා. වෙබ් අඩවිය ඉහළ උඩ තීරුවේ බැනරය WSG සාමාජිකයන්ගේ පින්තූරවලින් සැරසුනු අතර, මෙහි ප්‍රධාන පිටු 6ක් තිබුනා. ඒවා නම් 1. ආයතනය ගැන (About us), 2. වැඩසටහන් අංග (Events), 3. පින්තුර ගැලරිය (Gallery), 4.ජීවිත (Lives) 5. නිතර අසන ප්‍රශ්න (FAQ), සහ 6.සම්බන්ධ කර ගැනීමේ විස්තර (Contact) සහිත පිටුයි. මෙහි ජීවිත නම් පිටුවේ WSG ආයතනය විසින් ලේඛනගත කරන ලද ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ගේ සැබෑ ජීවිත කතන්දර පළ කර තිබුනා. Events පිටුවේ ආයතනය විසින් සිදු කළ විවිධ වැඩසටහන්, විවිධ රැස්වීම්, ආදිය ගැන විස්තර තිබුනා. අප ගැන පිටුවේ ආයතනයේ අතීතය, වර්තමානය සහ අනාගත සැලසුම් ගැනත් ආයතනයේ දැක්ම ගැනත් විස්තර අඩංගු වූවා. ආයතනයෙන් ලබා දුන් සේවා ගැන මෙවැනි විස්තරයක් අප ගැන පිටුවේ තිබෙනවා.
“WSG ආයතනයට කොළඹ කාර්යාලයක් ඇති අතර එමඟින් LBT කාන්තාවන්ට හමුවීමට ආරක්ෂිත අවකාශයක් ලබා දේ. කාර්යාලයට අමතරව, එය ගොඩවැදීමේ මධ්‍යස්ථානයක් (drop-in center) ලෙසද ක්‍රියා කරන අතර, පර්යේෂක සිසුන් විසින් නිරන්තරයෙන් භාවිතා කරනු ලබන LGBT ගැටළු පිළිබඳ මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය අඩංගු ප්‍රයෝජනවත් පුස්තකාලයක් ද එහි ඇත. තමන් වැනි අන් අයව දැන හඳුනා ගැනීමෙන් ඔවුන්ට ලැබෙන සහයෝගයට අමතරව, අපගේ සාමාජිකයින්ට අවශ්‍ය විටෙක නීති ආධාර, උපදේශන සහ වෙනත් උපකාර ද ලැබේ.”
වෙබ් අඩවිය යටින්ම රතු සහ නිල් හදවත් සලකුණු දෙකක් සමග සඳහන් කර තිබුනේ “ආදරය කවදාවත් වැරදි නැත, සමලිංගිකභීතිකාව අවසන් කරනු” යනුවෙනි. මුල් පිටුවේ පසෙකින් LBT තේමාවන් සහිත ඩෙස්ක්ටොප් වෝල් පේපර් ඩවුන්ලෝඩ් කර ගැනීමට ලින්කුවක් ද සඳහන් ව තිබුනි.