මෙම වැඩමුළුව 2008 සැප්තැම්බර් මස 3-4 දිනයන්හිදී කත්මන්ඩු නගරයේ පැවති අතර, බ්ලූ ඩයමන්ඩ් සංවිධානය (නේපාලය) සහ L.L.H. නෝර්වේ යන සංවිධාන දෙක එකතුව මෙය සංවිධානය කළා. මෙම වැඩමුළුවට ඉන්දියාව පාකිස්තානය ශ්‍රී ලංකාව බංගලාදේශය නේපාලය යන දකුණු ආසියාතික රටවල LGBTI පුද්ගලයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන ක්‍රියාකාරීන් සහභාගි වුනා. WSG නියෝජනය කරමින් මේ සඳහා එක් සාමාජිකාවක් සහභාගි වුනා. මෙම වැඩමුළුවේ අරමුණ වූයේ දකුණු ආසියාතික රටවල LGBTI ක්‍රියාකාරීන් සහ ඔවුන් නියෝජනය කරන විවිධ ප්‍රජාවන් අතර හවුල්කාරීත්වයන් ගොඩ නැගීමත්, අත්දැකීම් හුවමාරු කර ගැනීමත්, ඒ හරහා කලාපයේ LGBTI අයිතිවාසිකම් ව්‍යාපාරය ශක්තිමත් කිරීමත්ය.

මුලින්ම සහභාගි වූ සෑම රටකම නියෝජිතයන් තමන්ගේ රටේ සහ සංවිධානයේ වර්තමාන තත්වය, නිතීමය තත්වය, සමාජීය, ආර්ථික සහ සංස්කෘතික අභියෝග ඇතුළුව සිය රට සම්බන්ධයෙන් තත්ව විශ්ලේෂණයක් ඉදිරිපත් කළා.
අනතුරුව වැඩමුළුව පුරා සංක්‍රාන්ති සමාජභාවී (Transgender) පුද්ගලයන් වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකර තිබුනා. බ්ලූ ඩයමන්ඩ් සංවිධානයේ සුනිල් පාන්ත් සහෝදරයා කියා සිටියේ සිය සංවිධානයේ උද්දේශන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින් යනු තුන්වන සමාජභාවය (3rd gender) ලෙස පිළිගනිමින් නේපාල මහා අධිකරණය මගින් නීතිමය වශයෙන් පිලිගත් බවත් එය තමන්ගේ ඓතිහාසික දිනාගැනීමක් බවත් ය.
මෙම වැඩමුළුවේ දී දකුණු ආසියාතික මානව හිමිකම් කොමිසමක්, ලිංගිකත්වය සහ සමාජභාවය නිසා සමාජ අසාධාරණයන්ට ලක්වෙන පිරිස වෙනුවෙන් නිර්මාණය කිරිමට එකඟතාවයකට පැමිණි අතර, එහි කාර්යාලය කත්මන්ඩු නුවර පිහිටුවීමට තීරණය කෙරුණා. සියළුම රටවලින් එයට නියෝජිතයන් පත් කළ අතර, කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම එහි ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත් කරනු ලැබුවා.
වැඩමුළුව අවසානයේ නේපාලයේ බ්ලූ ඩයමන්ඩ් සංවිධානය විසින් සහභාගි වූ සියළුම දෙනා වෙනුවෙන් සාම්ප්‍රදායික නේපාල පිලිගැනීමක් සහ රාත්‍රී භෝජන සංග්‍රහයක් පිළියෙල කර තිබුනා.