ස්ත්‍රී පුරුෂ භාවය, ලිංගිකත්වය සහ ලිංගික සෞඛ්‍යය පිළිබඳ දෙදින ඒකාබද්ධ නේවාසික වැඩමුළුවක් මීගමුවේ දී පැවැත්වුනා. මෙම වැඩමුළුවට මහියංගනය, මොනරාගල සහ කැකිරාව යන ප්‍රදේශවල පෙර වැඩමුළු තුනකට සහභාගි වූ කාන්තාවන් ද ඒවායේ සම්පත් දායකයන් ද එක් කර ගත් අතර එමඟින් ඔවුන්ගේ ප්‍රාදේශීය වැඩමුළුවලදී සාකච්ඡා කරන ලද කරුණු පිළිබඳව වඩාත් ගැඹුරු සාකච්ඡාවක් සිදු කිරීමට බලාපොරොත්තු වුනා. ඒකාබද්ධ වැමුළුවට සහභාගි වූ 26 දෙනෙකු මීට පෙර වැඩමුළු තුනට සහභාගි වූ අය වූ අතර, ඔවුන්ට අමතරව වෙනත් සංවිධානවල වැඩ කරන කන්තාවන් කිහිප දෙනෙක් ද සහභාගි වුනා.
පෙර පැවැත්වූ මූලික වැඩමුළුවලදී අරමුණ වූයේ ලිංගිකත්වය මත පදනම් කොට ගෙන වෙනස්කොට සැලකෙන කාන්තාවන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මූලිකව දැනුවත් කිරීම වූ අතර මේවායේ දී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය යන සංකල්ප පිළිබඳ මූලික හැඳින්වීමක් සහ ස්ත්‍රී-පුරෂ සමාජභාවය මූලික කොට පුද්ගලයන් එක් එක් රාමුවලට කොටු කිරීම හේතුවෙන් ඇතිවන ඵලවිපාක ආදිය ද සාකච්ඡා කෙරුනා.
ඒකාබද්ධ වැඩමුළුව පැවැත්වීමේ අරමුණ වූයේ මීට පෙර වැඩමුළුවලට සහභාගිවූ කාන්තාවන් ඒකරාශී කොට ඔවුන්ට එක් වැඩමුළුවක් පවත්වා අදාළ විෂයන් පිළිබඳ වැඩිදුර දැනුමක් ලබාදීමයි. මෙම කාන්තාවන්ට තම ප්‍රජාව තුළ ඇති කොන් කිරීම හා වෙනස්කොට සැලකීම් හඳුනාගැනීම හා ඒ පිළිබඳව ක්‍රියාකාරී වීමට අවශ්‍ය ආධාර මෙම ඒකාබද්ධ වැඩමුළුව තුළින් ලැබේ යැයි බලාපොරොත්තු වුනා. වැඩමුළුවේ දී මෙවැනි ගැටළු විසඳීමට අවශ්‍ය ක්රමෝපායන් පිළිබඳව ද සාකච්ඡා කෙරුනා
මෙම වැඩමුළුවේ සැසි මෙහෙයවන ලද්දේ (නීති හා මානසික සෞඛ්‍ය කාන්තා අයිතීන්) පිළිබඳ ක්රියාකාරිනීන් විසින් වූ අතර, මෙහි දී ගෘහස්ථ ප්රචණ්ඩත්වය පිළිබඳ පනතට යෝජනා කර ඇති සංශෝධන ගැන ඉදිරිපත් කිරීමක් සිදු කෙරුනු අතර, ඊට අදාළව කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් නීතිමය අයිතිවාසිකම් ගැන පැහැදිලි කිරීමක් ද සිදු කෙරුනා. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ WSG හට ඇතැම් විට තම පවුල් විසින් හිරිහැරයට ලක්වන කාන්තාවන්ට සහාය වීමට සිදුව තිබෙන නිසායි.තවත් ඉදිරිපත් කිරීමක් වූයේ සමලිංගිකත්වය අපරාධකරණය කිරීම රට තුළ ඇති කරන ප්‍රතිවිපාක පිළිබඳව යි. එසේම LBT කාන්තාවන්ට මුහුණ පෑමට සිදු වී ඇති කොන් කිරීම සහ වෙනස් කොට සැලකීම ගැනත් කතා කෙරුනා. වැඩමුළුව අවසානයේ ප්‍රජා මූලික සංවිධාන කාන්තා ක්‍රියාකාරී සංවිධානය සමඟ එක්වී වැඩ කිරීම සඳහා ක්‍රම සැලසුමක් ද සම්පාදනය කෙරනා.
මෙම කාන්තා සහභාගීවන්නන්ගෙන් බොහෝ දෙනෙක් මෙවැනි නේවාසික වැඩමුළුවකට පෙර සහභාගී වී නොතිබූ අතර, රටේ අනෙකුත් ප්‍රදේශවල කාන්තාවන් සමඟ ජාලගත වීමට සහ විවිධ ගැටළු සාකච්ඡා කිරීමට ද ඒ හරහා අවස්ථාව ලැබුනා. වැඩමුළුව දෙවන දින අවසන පැවැති සැඳෑ හමුවේදී සියලු දෙනා ගී කියමින් එකට එක්ව විනෝද වුනා. සහභාගි වූ සියලුදෙනා මෙම වැඩමුළුව පැවැති දින තුළ තමා පැමිණි විවිධ ප්‍රදේශවලින් ගෙන ආ අත්දැකීම් බෙදාගත් අතර මෙය කාන්තා ක්රියාකාරීනීන්ට ඉතා වැදගත් බව ද පැවසුවා.