
1999 අගෝස්තු මාසයේ ද අයිලන්ඩ් පුවත්පතේ කැලණියේ පී. අලස් නමැති අයකු ලිවූ ‘lesbian Conference in Colombo? (කොළඹ ලෙස්බියන් සම්මන්ත්‍රණයක්?’) යන මැයෙන් පළ වූ වෛරී සහගත පාඨක ප්‍රතිචාර ලිපිය සම්බන්ධයෙන් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම සහ ගමන් මගේ සහකරුවෝ ආයතන වෙනුවෙන් ෂර්මන් ද රෝස් ද අයිලන්ඩ් පුවත්පතට එරෙහිව පුවත්පත් මණ්ඩලයේ ගොනු කළ පැමිණිල්ලේ තීන්දුව 2000 වසරේ මැයි 23 දා ප්‍රකාශ කෙරුනි. එම ලිපියේ එක් තැනක ලියුම්කරු යෝජනා කර තිබුනේ මෙම ලෙස්බියන් සම්මන්ත්‍රණයට ස්ත්‍රී දූෂණය සඳහා උසාවියෙන් වරදකරුවන් වූ පිරිසක් මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන ස්ථානයට ගෙනවුත් දමා එයට සහභාගි වන ලෙස්බියන් කාන්තාවන්ට රිසි සේ ලිංගික බලහත්කාරකම් කරන්නට ඉඩ දෙන ලෙසයි. ස්ත්‍රී දූෂණය ප්‍රවර්ධනය කළේ යැයි ෂර්මන් ද රෝස් මෙහිදී මූලික වශයෙන් චෝදනා කරන ලදී. ලෙස්බියන්භාවය යනුම පරපීඩා කාමුකත්වය, සහ සල්ලාලකම ප්‍රවර්ධනය කරන ක්‍රියාවක් බව ප්‍රකාශ කරමින් පුවත්පත් මණ්ඩලය විසින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කරමින් ෂර්මන් ද රෝස්ට රු.2100/= ක දඩයක් ද ගෙවන ලෙස නියම කරන ලදී.
පහත දැක්වෙන්නේ තීන්දුවෙන් උපුටා ගත් කොටසක සිංහල පරිවර්තනයකි.
“ඕනෑම උසාවියකින් හෝ අර්ධ අධිකරණ ආයතනයකින් නීතිමය පිළියම් සොයන ඕනෑම පැමිණිලිකරුවෙකු පිරිසිදු දෑතින් එය ඉදිරියට පැමිණිය යුතුය. පැමිණිල්ල විසින් සමාජයේ අසාමාන්‍ය හෝ දුරාචාර ක්‍රියා හුදෙක් දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය කිරීම කරන නිසාම, එවැනි ක්‍රියාකාරකම් විවේචනය කිරීමට මාධ්‍යයට අයිතියක් නැතැයි ඔහුට තර්ක කළ නොහැක.
පැමිණිලිකරු කාන්තාවක් නොවන බැවින්, ඔහුට කිසිම අවස්ථාවක ලෙස්බියන් කටයුතු සඳහා සහභාගී විය හැකි නොවේ. ලිපියේ සඳහන් වන පරිදි ඔහු එවැනි කිසිදු ස්ත්‍රී දූෂණයකට ලක් විය නොහැකි අතර එබැවින් ඔහුට එවැනි ප්‍රචණ්ඩත්වයකට ගොදුරු විය නොහැක. ඔහු මහජන අවශ්‍යතා මත කිසිදු සහනයක් ඉල්ලා නැත. ඔහු හුදෙක් සමලිංගික සහ සමලිංගික පුද්ගලයින්ගේ ආධාරකරුවෙකු ලෙස පැමිණිලි කරන බවත් විශේෂයෙන් ඔවුන්ගේ මානව හිමිකම් සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා පැමිණිලි කරන බවත් ප්‍රකාශ කරයි. එබැවින් ඔහුට මෙම නඩුව ගෙන යෑමට හෝ පවත්වාගෙන යාමට නීතිමය තත්වයක් (Locus Standi) නොමැත.
පුවත්පත් කලාවේදීන් සඳහා වන ආචාර ධර්ම සංග්‍රහයේ අංක 8 දරන රීතිය යටතේ පත්‍ර කලාවේදියකු විසින් පරපීඩා කාමුකත්වය, ප්රචණ්ඩත්වය හෝ සල්ලාලකම ප්‍රවර්ධනය කෙරෙන ආකාරයකට කිසිදු දෙයක් ප්‍රකාශයට පත් නොකළ යුතු බව පැමිණිලිකරුගේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ලෙස්බියන්භාවය යනුම පරපීඩා කාමුකත්වය, සහ සල්ලාලකම ප්‍රවර්ධනය කරන ක්‍රියාවකි. එවැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව කිසියම් මතයක් ප්‍රකාශ කිරීම පරපීඩා කාමුකත්වය, සහ සල්ලාලකම ප්‍රවර්ධනය කිරීමක් නොවන අතර, එවැනි හැසිරීම්වලට අනුබල දෙන ඕනෑම ප්රකාශනයක් එවැනි පරපීඩා කාමුකත්වය, ප්රචණ්ඩත්වය සහ සල්ලාලකම පිළිබඳ පැහැදිලි ප්‍රවර්ධනයකි. එමනිසා, පැමිණිලිකරු පරපීඩා කාමුකත්වය, ප්රචණ්ඩත්වය ප්‍රවර්ධනය කිරීමට උනන්දු වන තැනැත්තා මිස වගඋත්තරකරුවන් නොවේ.
අනෙක් අතට, එවැනි අසාමාන්‍ය හා දුරාචාර ක්‍රියාවල යෙදෙන පුද්ගලයින්ට සහාය දැක්වීමට තමන්ට අයිතියක් ඇතැයි පැමිණිලිකරු තර්ක කරන්නේ නම්, පිළිගත් සමාජ සම්මතයන්ට අනුව, ගරුත්වය ඇති අයුරින්, සංස්කෘතියට අනුව හැසිරෙන සමාජයේ සිටින මිනිසුන්ට සහය දැක්වීමට මනුෂ්‍යත්වයට, සංස්කෘතියට සහ මානව සමාජයේ අනෙකුත් ගෞරවනීය සම්මතයන්ට ගරු කරන පුද්ගලයින්ට ද අයිතියක් ඇති බව අප පිළිගත යුතුය.
මිනිසුන්ගේ අසාමාන්‍ය, අස්වාභාවික සහ අමානුෂික හැසිරීම් පිළිබඳ තමන්ගේ විවේචන පුවත්පත් හරහා ප්‍රසිද්ධ කිරීමට ඔවුන්ට අයිතියක් ඇත.
මෙවැනි ආන්දෝලනාත්මක කරුණක් සම්බන්ධයෙන් පාඨකයන් දැනුවත් කිරීම සඳහා සාමාන්‍ය මහජනතාවගේ මතය ප්‍රකාශයට පත් කිරීමෙන් වගඋත්තරකරුවන් මාධ්‍යවේදීන් ලෙස තම රාජකාරිය ඉටු කර ඇති බව අපගේ අදහසයි.
ඉහත තත්ත්වයන් තුළ, අපි මෙම පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන අතර රු. 2,100/- ක වියදමක් පැමිණිලිකරු විසින් වගඋත්තරකරුවන්ට ගෙවිය යුතුය.
ලෙස්ලි දේවේන්ද්‍ර මයා, සාමාජික
එස් ගුණරත්න මිය, සාමාජික
දයා ලංකාපුර මයා, සාමාජික
ආරිය රූබසිංහ මයා, සාමාජික
විජේදාස රාජපක්ෂ මයා, සභාපති
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය,
346, නාවල පාර,
රාජගිරිය.
23.05.2000”
Original text in English
“Any complainant, who seeks legal remedies from any court or quasi-judicial body, must come before it in clean hands. Just because the complaint encourage and promote abnormal or immoral acts in society, he cannot argue that the media has no right to criticize such activities.
The complainant in any event, is not a female, who can participate, in lesbian
activities. He cannot be subject to any such rape as referred to in the article and therefore, he cannot be a victim of such violence. He has not sought any relief on the basis of public interest. He merely states that he complains as a supporter of gay and lesbians people and specially to protect their human rights and dignity. Hence he has no legal status (Locus Standi) to make or maintain this application.
The counsel for the complainant pointed out Rule No. 8 of the Code of Ethics for
Journalists in which it reads to say that the journalists shall not publish any matter designed to promote sadism, violence and salacity.
On the other hand, if the complainant argues that he has a right to support people who are involved in such abnormal and immoral activities, we have to concede that the people, who respect to their humanity, culture and other respected norms in human society also have a right to support the people who live in the society in a cultured and dignified manner with their accepted social norms.
They have a right to publish their criticism over abnormal, unnatural and inhumane conduct of the people through the press.
We are of the view that the respondents have discharged their duties as journalists by publishing the opinion of general public to educate their readers on such a controversial issue.
In the above circumstances, we dismiss this complaint with costs fixed at Rs. 2,100/- to be payable to the respondents by the complainant.
1.Mr. Leslie Devendra Member
- Mrs. S. Gunaratne – Member
3.Mr. Daya Lankapura – Member
4.Mr. Ariya Rubasinghe – Member
- Mr. Wijeyadasa Rajapakshe – Chairman
Sri Lanka Press Council,
346, Nawala Road,
Rajagiriya.
23.05.2000”
පුවත්පත් මණ්ඩලය යනු 1973 සිට එවකට පැවැති රජයයන් කිහිපයක් විසින් ජනමාධ්‍ය මර්දනය සහ නියාමනය සඳහා යොදාගත් මාධ්‍ය අයිතීන් සම්බන්ධයෙන් ක්‍රියාකාරීන්ගේ තදබල විවේචනයට ලක් වූ ස්වාධීන නොවන රාජ්‍ය ආයතනයකි. එහි සාමාජිකත්වය 7 දෙනෙකු විය යුතු වුව ද මෙම තීන්දුවට අත්සන් කර ඇත්තේ හුදෙක් ගණ පූරණය වෙන 5 දෙනෙකු වීම ද සැලකිල්ලට බඳුන් කළ යුතු කාරණයක් වෙන අතර අභ්‍යන්තර වශයෙන් මේ තීරණය ගැන බෙදුනු මතයක් පුවත්පත් මණ්ඩලය තුල එවකට තිබුනේ ද යන සැකය මෙහි දී මතුවේ.
මෙම තීන්දුවෙන් පසුව ආසියානු මානව හිමිකම් කොමිසම මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ පුවත්පත් මණ්ඩලයේ සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බවයි. COJ මූලාශ්‍ර සඳහන් කරන ආකාරයට ජපන් ලෙස්බියන් සහ සමරිසි සංගමය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, අන්තර්ජාතික ලෙස්බියන්, සමරිසි, ද්විලිංගික, සංක්‍රාන්ති, සහ අන්තර්ලිංගික සංගමයේ ආසියානු කලාපය (ILGA-Asia) සහ
අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC- වර්තමානයේ අවුට්රයිට් ඉන්ටනැෂනල්) ද මෙලෙස විරෝධය පල කර ඇත.
කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ සහ ගමන් මගේ සහකරුවෝ ආයතනයේ ක්‍රියාධරයන් මේ අසාධාරණ තීන්දුව සම්බන්ධයෙන් දේශීය සහ අන්තර්ජාතික ලෙස හඬ නගන ලදී.
මේ සම්බන්ධයෙන් විරෝධය පල කරමින් පුවත්පත් මණ්ඩලයේ සභාපතිට, ජනාධිපති ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට, ජනමාධ්‍ය ඇමැතිට ලිපි යොමු කරන ලෙස ඉල්ලමින් ගමන් මගේ සහකරුවෝ ආයතනය සහයෝගය ඉල්ලා සිටි අතර, විරෝධතා ලිපියක ආකෘතියක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පල කරන ලදී. අන්තර්ජාතික ලෙස්බියන්, සමරිසි, ද්විලිංගික, සංක්‍රාන්ති, සහ අන්තර්ලිංගික සංගමයේ ආසියානු කලාපය (ILGA-Asia) සහ
අන්තර්ජාතික සමරිසි සහ ලෙස්බියන් මානව හිමිකම් කොමිසම (IGLHRC- වර්තමානයේ අවුට්රයිට් ඉන්ටනැෂනල්) ආයතන අන්තර්ජාතික ලෙස මේ විරෝධතා ලිපි ව්‍යාපාරය ගෙන යාමට සහයෝගය දක්වන ලද අතර එම ලිපිවල පිටපත් COJ සහ එම ආයතන දෙක වෙත යොමු කරන ලෙස ද ඉල්ලා සිටින ලදී. මේ කාලයේ කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමට වෙනම වෙබ් අඩවියක් හෝ තිබුනේ නැති අතර ඔවුන්ගේ තොරතුරු පල වූයේ ද COJ වෙබ් අඩවියේය.