
වසර 1999 මැයි මාසයේදී ජනමාධ්‍ය තුල ප්‍රසිද්ධ සාකච්ඡාවට ලක්වූ ලෙස්බියන් තරුණ යුවලකගේ සිය දිවි නසා ගැනීම ගැන ඇතිවූ සංවාදය කාන්තා ක්‍රියාකාරී කණ්ඩායමේ ආරම්භයට බෙහෙවින් දායක වුනා. මෙය ලෙස්බියන් කාන්තාවන් සියදිවි නසා ගත් පළමු අවස්ථාව නොවූවත් එකිනෙකාට සහය දීමට ප්‍රජාවක් ලෙස සංවිධානය වීමේ වැදගත්කම ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ට සහ අනෙකුත් අයට තේරුම් ගැනීමට මෙම සිද්ධිය වැදගත් වුනා.
“1999 අප්‍රේල් මාසයේ කළුතර (දකුණු පලාතේ) කැලිඩෝ මුහුදු වෙරළට තරුණ කාන්තාවන් සිරුරු දෙදෙනෙකුගේ ගොඩගසා තිබුණී. එම එක් කාන්තාවක් විසි හැවිරිදි වියේ හා අනෙක් කාන්තාව විසිහය හැවිරිදි වූවාය. කාන්තාවන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවිකාවන් වූ අතර අනෙක් කාන්තාව විවාහක අයෙකි.
මෙම මරණ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවල දී අවිවාහක කාන්තාවගේ දිනපොත සොයා ගැණුනු අතර, ඉන් හෙළිවූයේ ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳී සිටි බවත්, වෙන්වීමට සිදුවීම සම්බන්ධයෙන් දරාගත නොහැකි වේදනාවෙන් පෙළුණු බවත් ය. ඔවුන්ගේ මරණය සිදු වූ දිනයේ ඔවුන් දෙදෙනා යෙහෙළියන් සමඟ කාලය ගත කර සවස් වී එකට පිටත්ව ගොස් ඇත. මොවුන් නැවත දකින්නට ලැබුනේ මිය ගිය පසු ය. අවසානය වූයේ සියදිවි නසා ගැනීමයි.
(ලංකාදීප පුවත්පතේ 20/04/1999 – අනුවර්තනයකි.)”
උපුටන: “ලංකාවේ සමලිංගිකයන් සියදිවි නසා ගැනීම”, සංවේදීනී. 2003.
මෙම සිදුවීමෙන් මසකට කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම 1999 ජුනි මාසයේදී පිහිටුවා තිබෙනවා.
කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම මුල සිටම සිය දිවි නසා ගැනීමට උත්සාහ කර දිවි ගලවා ගත් සහ සියදිවි හානිකර ගැනීමේ සිතුවිලි ඇති ලෙස්බියන් සහ ද්විලිංගික කාන්තාවන්ට අවශ්‍ය මනෝ සමාජ සහ ප්‍රජා මැදිහත්වීම් ලබා දෙමින් දිවි හානිකර ගැනීම් වැළැක්වීමට අවශ්‍ය සහය, ඒ ගැන සමාජය සහ ප්‍රජාවන් දැනුවත් කිරීම සහ ඒ ගැන නිරන්තර අධ්‍යයන සහ උද්දේශන කටයුතු සිදු කිරීම කර තිබෙනවා.
මෙම සිදුවීම ඇතුළුව ජනමාධ්‍ය හරහා වාර්තා වූ මෙවැනි සියදිවි නසාගැනීම් සිදුවීම් 4ක් විශ්ලේෂණය කරමින් කාන්තා ක්‍රියාකාරී කණ්ඩායම විසින් සිදු කළ අධ්‍යයනයක් ඇසුරෙන් ලියන ලද දීර්ඝ ලිපියක් 2003 වසරේ සංවේදීනී පුවත්ලිපියේ “ලංකාවේ සමලිංගිකයන් සියදිවි නසා ගැනීම” නමින් පලවී තිබෙනවා.